Nov 1, 2019

කොරියාවේ නව දක්ෂිණ ප්‍රතිපත්තිය : එහි දැක්ම සහ එය මුහුණ දෙන අභියෝග (පරිවර්තනයකි)

[මෙම ලිපිය KIEPopinions හි 146 කළාපයෙහි පළවූ Sungil Kwak ගේ Korea's New Southern Policy: Vision and Challenges නැමති ලිපියෙහි (සංක්ෂිප්ත) සිංහල පරිවර්තනයකි. මුල් කතුවරයාගේ පූර්ණ අවසරය යටතේ සිංහලයට පරිවර්තනය කරන ලදී.]

කොරියාවේ නව දක්ෂිණ ප්‍රතිපත්තිය : එහි දැක්ම සහ එය මුහුණ දෙන අභියෝග. 

කර්තෘ: Sungil Kwak (නොවැ. 12, 2018)

නව දක්ෂිණ ප්‍රතිපත්තියෙහි දැක්ම

කොරියානු රජයේ නව දක්ෂිණ ප්‍රතිපත්තියෙහි (신남방정책) අරමුණු වන්නේ දක්ෂිණ කළාපයෙහි ප්‍රධාන කොටස්කරුවන් වන ආසියාන් රටවල් සහ ඉන්දියාව සමග සබඳතා වැඩි දියුණු කරගැනීමත්, එකී සබඳතා කොරියාවේ සාම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික කොටස්කරුවන් හතර දෙනා (ඇ.එ.ජ., චීනය, ජපානය, රුසියාව) ගේ මට්ටමට ගෙන ඒමත්, අන් අය හා සංවේදනය කළ හැකි වටිනාකම් සංවර්ධනය, සහ අන්‍යොන්‍ය වශයෙන් සුඛිත මුදිත "මානව-කේන්ද්‍රීය" ප්‍රජාවක් ගොඩ නැංවීමත් ය. තවද නව දක්ෂිණ ප්‍රතිපත්තිය මගින්, ට්‍රම්ප් පරිපාලනය ආරම්භයත් සමඟම බල ගැන්වුණු, ඇ.එ.ජ. හි ස්වදේශීය කටයුතු සඳහා වන ප්‍රමුඛතාවය ට ගැළපෙන පරිදි මෙන්ම නැගෙනහිර ආසියාව තුළ චීනයේ බලපෑම ව්‍යාප්ත වීමට ගැළපෙන පරිදි  බහු පාර්ශවීය ආර්ථික සහ රාජ්‍ය තාන්ත්‍රික රාමුවක් සැකසීම අරමුණු කෙරේ. කොරියාවේ අන්තර්ජාතික වෙළඳාම බහුලව රඳා පවතිනුයේ ඇ.එ.ජ. සහ චීනය මතය. පසුගිය වසර 3 පුරා (2015-2017) කොරියාවේ සමස්ත අපනයනයන්ගෙන් 38.1% ක් එම රටවල් 2 සමඟ සිදු විය. තවද කොරියාවේ සමස්ත ආනයන සහ අපනයනය වටිනාකම සළකා බලන කළ එයින් 35% ක්ම ඇ.එ.ජ. සහ චීනය සමඟ විය. මෙලෙස සිය ජාත්‍යන්තර වෙළඳ ව්‍යුහය නිශ්චිත රටවල් කිහිපයක් මත පමණක් පදනම් වීම හේතුකොටගෙන එම රටවල් වල විදේශ ප්‍රතිපත්තියේ සහ විදේශ වෙළඳ ප්‍රතිපත්තිවල වෙනස්වීම් වලට අවනත වීමට දකුණු කොරියාවට සිදුව ඇත. නිදසුන් වශයෙන්  2016 දී තාඩ් (THAAD) ප්‍රශ්නය මුල් කරගෙන දකුණු කොරියාව හා චීනය අතර සබඳතා අසීරු අඩියකට පත් වීමත්, ට්‍රම්ප් පරිපාලනය ආරම්භයත් සමඟම බල ගැන්වුණු, ඇ.එ.ජ. හි ප්‍රබල ජාතිකවාදී ප්‍රවණතා හේතුවෙන් එරටට සිදු කරන අපනයන කෙරෙහි අසීරු බලපෑම් එල්ල වීමත් සඳහන් කළ හැක. එබැවින් කොරියාවට සිය විදෙස් ආර්ථික ප්‍රතිපත්තිය තම රටෙහි ලාභාංශ විශ්වසනීයව වැඩි කරගැනීමට හැකි වන පරිදි සකසා ගැනීමට අවශ්‍ය නම්  පළමුව කළ යුතු වනුයේ මෙතෙක් නිශ්චිත රටවල් කිහිපයක් මත පමණක් කේන්ද්‍රීය වූ තම වෙළඳ ව්‍යුහය විවිධාංගීකරණයත් එමගින් බාහිර තර්ජන අවම කර ගැනීමත්ය. නව දක්ෂිණ ප්‍රතිපත්තිය මගින් අරමුණු කෙරෙනුයේ හුදෙක් ඇ.එ.ජ. සහ චීනය වෙනුවට නව දක්ෂිණ කළාපය සමඟ සම්බන්ධතා පැවැත්වීම නොව ඇ.එ.ජ. සහ චීනය සමඟ සම්බන්ධතා පවත්වා ගන්නා අතරතුර සිය ආර්ථික සහයෝගීතාවයේ නිම්වළලු පුළුල් කර ගැනීමයි. එබැවින් නව දක්ෂිණ ප්‍රතිපත්තියේ දැක්ම සංක්ෂිප්තව ඉදිරිපත් කරන්නේ නම් මෙසේය. දකුණු කොරියාව සිය ජාතික ප්‍රායෝගික රුචිකත්වයන්ට ප්‍රමුඛත්වය දෙමින් වඩාත් සමබර රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙතක් මත පදනම් වූ උපායමාර්ගික විදේශ ප්‍රතිපත්තියක් තම ප්‍රධාන සාම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික කොටස්කරුවන් සිව්දෙනා (ඇ.එ.ජ., චීනය, ජපානය, රුසියාව) සහ නව දක්ෂිණ කළාපයන් සමඟ පවත්වාගෙන යාමයි.

'3P community' නමින් හඳුන්වන ජනතාවාදී, සෞභාග්‍යමත්, සහ සාමකාමී ප්‍රජාවක් නිර්මාණය කිරීම නව දක්ෂිණ ප්‍රතිපත්තියෙහි අභිලාෂයයි. ආසියාන් සංගමයෙහි ව්‍යවස්ථාවෙහි ද ප්‍රජා-කේන්ද්‍රීය වටිනාකම් ඉස්මතු කර ඇති අතර වර්තමාන රාජ්‍ය තන්ත්‍රය තුළ ද "පළමුව මහජනතාව" යන්න මූලිකාංගයකි. ඊට අමතරව කොරියානු රජය විසින් FTAAP (ආසියා-පැසිෆික් නිදහස් වෙළඳ කළාපය) සහ CEPA (සවිස්තරාත්මක ආර්ථික සහයෝගිතා ගිවිසුම) සංශෝධනය කිරීම හරහා අන්‍යොන්‍ය වශයෙන් සෞභාග්‍යමත් ප්‍රජාවක් ගොඩනැඟීමට අදහස් කරයි. අවසාන වශයෙන්, නව දක්ෂිණ ප්‍රතිපත්තිය මගින් සාමකාමී ප්‍රජාවක් ගොඩනැඟීම අරමුණු කරයි. උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන් හේතුවෙන් ඊසානදිග ආසියාවේ අස්ථාවරත්වයක් ඇතිව තිබුණද ජනපති මූන් ජේ-ඉන් තමන් විසින් ආසියාන් රටවල සහ ඉන්දියාවෙහි සිදු කරන ලද  සංචාරයන්හි දී නව දක්ෂිණ ප්‍රතිපත්තියට ස්වකීය සහාය ලබා දීම පිළිබඳ මෙන්ම කොරියානු අර්ධද්වීපය තුළ සාමකාමී පාලනයක් ස්ථාපනය කිරීම පිළිබඳ අදහස් දක්වා ඇත. නව දක්ෂිණ ප්‍රතිපත්තියෙහි ප්‍රධානතම කොටස්කරුවන් වන ආසියාන් සාමාජික රටවල් දකුණු කොරියාව සමඟ පමණක් නොව උතුරු කොරියාව සමඟ ද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වති. ආසියාන් සාමාජික රටවලට උතුරු කොරියාව සමඟ මධ්‍යස්ථ දෘෂ්ටිකෝණයකින් සන්නිවේදනය කළ හැකි වුවහොත් ඒ හරහා කොරියානු අර්ධද්වීපය තුළ සාමකාමී පාලනයක් ස්ථාපනය වීමක් බලාපොරොත්තු විය හැකිවා මෙන්ම ජාත්‍යන්තරය විසින් උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක ලිහිල් කරවා ගැනීමට බලපෑමක් එල්ල කළ හැකිය. ඒ හරහා න්‍යෂ්ටික නිරවිකරණ ක්‍රියාවලිය වේගවත් කිරීම මගින් කොරියානු අර්ධද්වීපය තුළ සාමකාමී පාලනයක් ස්ථාපනය කළ හැකි වනු ඇත.

කොරියානු අර්ධද්වීපය තුළ සාමකාමී පාලනයක් ස්ථාපනය වීම තුළ දක්ෂිණ කළාපය සහ උත්තර කළාපය අතර ආර්ථික ජයග්‍රහණ සම්බන්ධ කරන පාලමක් වශයෙන් කොරියානු අර්ධද්වීපයට කටයුතු කළ හැක. ඒ හරහා කොරියාව මතු නොව මුළුමහත් ආසියාවේ සමෘද්ධිය උදෙසා නව අවස්ථාවන් විවර කරනු ඇත. උත්තර කළාපයේ බලශක්තිය සහ විදුලි බලය දක්ෂිණ කළාපයට සැපයීමේ මාර්ගයක් වශයෙන්  කොරියානු අර්ධද්වීපයට කටයුතු කළ හැක. එපමණක් නොව දක්ෂිණ කළාපයේ අපනයන භාණ්ඩ උත්තර කළාපයට සපයන මාර්ගයක් වශයෙන් ද කටයුතු කළ හැක. තවද, උතුරු කළාපයේ නිපදවන කෘෂිකාර්මික සහ ධීවර නිෂ්පාදන බිලියන 2 ක් වූ ජනගහණයක් සහිත ඉන්දීය සහ ආසියාන් වෙළඳපළට සපයන සැපයුම් මාර්ගයක් වශයෙන්ද කොරියානු අර්ධද්වීපය කටයුතු කළ හැකිවනු ඇත. නැගෙනහිර ආසියාව හරහා ගොඩනැඟෙන මෙම නව සැපයුම් මාර්ගය ආසියාවේ සමෘද්ධිය උදෙසා මහඟු දායකත්වයක් දක්වනු ඇත.

කොරියානු රජයේ "කොරියානු අර්ධද්වීපය සඳහා වන නව ආර්ථික සිතියම" සහ නව උත්තර ප්‍රතිපත්තිය හා සම්බන්ධ වීම හරහා නව දක්ෂිණ ප්‍රතිපත්තිය මගින් කොරියාවට මෙන්ම ආසියාවට ද නව වර්ධන අවස්ථා සපයනු ඇත. සාමාජික රටවල්  විසින්, නව දක්ෂිණ ප්‍රතිපත්තියෙහි අරමුණක් වන, එකිනෙකාගේ ශක්තීන් හඳුනාගැනීම හා වර්ධනය කර ගැනීම තුළින් අන්‍යොන්‍ය වශයෙන් සමෘද්ධිමත් ප්‍රජාවක් ගොඩනංවාගත හැකිනම්  එයම නව වර්ධන බලවේගයක් වශයෙන් ක්‍රියා කරනු නොඅනුමානය. නිදර්ශනයක් වශයෙන් නව දක්ෂිණ ප්‍රතිපත්තියෙහි ප්‍රබල කොටස්කරුවෙකු වන ඉන්දියාව සතුව ඉතා උසස් මූලික විද්‍යා දැනුමක් තිබුණද විද්‍යා ව්‍යපෘති වාණිජකරණයට අවශ්‍ය කරන ව්‍යවහාරික විද්‍යා දැනුම පහළ මට්ටමක පවතී. අප (දකුණු කොරියාව) සතු වාණිජකරණ තාක්ෂණය සහ අත්දැකීම් ඉන්දියාවේ මූලික විද්‍යා දැනුමට මුසු කිරීම තුළ ඉහළ-තාක්ෂණික නිෂ්පාදන කර්මාන්ත පෝෂණය කළ හැකිය. ඒ හරහා රටවල් 2 ටම ක්ෂේත්‍රයෙහි ප්‍රමුඛයින් බවට පත් විය හැක...

[මෙම ලිපියෙහි ඉතිරිය ඉඩ කඩ ලැබෙන පරිදි යථා කාලයේදී කොටස් වශයෙන් පළ කෙරෙනු ඇත. දිගටම මෙම පෝස්ටුව සමඟ රැඳී සිටින්න.]

No comments:

Post a Comment