Sep 5, 2020

කළු වළාවේ රිදී රේඛාව : කොරෝනා අස්සේ කොරියානු නූඩ්ල්ස් සහ අයිස් ක්‍රීම් අපනයන ආදායම ඉහළට - Silver Lining Amid the Dark Cloud: Export income of ramyeon and ice cream doubles amid Corona Virus

කොරෝනා ව්‍යසනය හමුවේ කොරියාවද ඇතුළු ලොව සෑම රටකම පාහේ බොහොමයක් අපනයන නිෂ්පාදනවල අලෙවිය පහළ යාමේ ගෝලීය ප්‍රවණතාවයක් දැකගත හැකි වුවද කොරියානු ක්‍ෂණික නූඩ්ල්ස් හෙවත් රාම්යෝන්ග් (ramyeon 라면) සහ අයිස් ක්‍රීම් යන ආහාර ද්‍රව්‍යයන්හි අලෙවිය සීග්‍රයෙන්  ඉහළ ගොස් ඇති බවට වාර්තා වෙනවා. MBC ප්‍රවෘත්ති සේවයට අනුව බටහිර රටවලද සමාජ දුරස්ථභාවය හේතුවෙන් පුද්ගලයින් නිවසේ ගත කරන කාලය (집콕) වැඩිවීමත් සමග කොරියානු  ආහාර වැඩි වශයෙන් ආහාරයට ගැනීමේ ප්‍රවණතාවයක් ඇතිවී තිබෙනවා.


විශේෂයෙන්ම අනිකුත් රටවලදී රසවිඳිය නොහැකි මෙලන් (melon 멜론) සහ කොමඩු (watermelon 수박) රසැති කොරියානු අයිස් ක්‍රීම් සඳහා මෙන්ම මසුන්ගේ හැඩය ගත් අයිස් ක්‍රීම් සඳහා වැඩි ඉල්ලුමක් පවතින බව වාර්තා වෙනවා. හැඩය පමණක් නොව ඊටම ආවේණික මෙළෙක් රසයෙන් සමන්විත කොරියානු අයිස් ක්‍රීම් විදේශිකයන්ගේ රස නහර පිනවීමට සමත්වීම හේතුකොටගෙන මේ වසරේදී ඩොලර් මිලියන 47ක (4천7백만 달러) වාර්තාගත අපනයන ආදායමක් ඉපැයීමට සමත්ව තිබෙනවා. එය පසුගිය වසරට සාපේක්ෂව 11.1% ක ඉහළ යාමක් බවත් වාර්තා වෙනවා. විශේෂයෙන්ම උතුරු ඇමරිකානු කළාපයෙහි අපනයන අදායම පසුගිය වසරට සාපේක්ෂව විශාල වශයෙන් (29%) ඉහළ ගොස් තිබෙනවා. රාම්යෝන්ග් අලෙවියද පියාපත් ලැබුණා හා සමානව ඉහළ ගොස් තිබෙනවා. අගෝස්තු මාසය දක්වා රාම්යෝන්ග් අපනයන ආදායම පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 36%කින් ඉහළ යාමක් පෙන්නුම් කරනවා. ඒ අනුව සමස්ත අපනයන ආහාරද්‍රව්‍ය අතර වැඩිම අලෙවියක් පෙන්නුම් කරනුයේ කොරියානු ක්‍ෂණික නූඩ්ල්ස් බවයි වාර්තා වන්නේ. මෙම කළාපයෙහි කොරියානු ජනප්‍රිය සංස්කෘතිය හෙවත් 한류 (Korean Wave) ප්‍රචලිතව පැවතීමද තවත් එක් හේතුවක් බව විශේෂඥ මතයයි. Parasite (기생충, 2019) නම් වූ ඔස්කාර් ජාත්‍යන්තර සම්මාන ලත් ජනප්‍රිය කොරියානු චිත්‍රපටයේ එන Chapaguri (짜파구리) නමැති සන්නාම නූඩ්ල්ස් වර්ගය මේ සඳහා බලපාන්නට ඇති බව Korea Joongang Daily පුවත්පත මීට සති කිහිපයකට පෙර වාර්තා කර තිබුණා.
 


මීට අමතරව කිම්චි (Kimchi 김치) ද ඉහළ අපනයන ආදායමක් උපයන ආහාර ද්‍රව්‍ය අතරට පසුගිය කාලයේදී එක්ව තිබෙනවා. විදේශීය වශයන් පමණක් නොව සමාජ දුරස්ථභාවය සම්බන්ධ සිමාවන් දැඩි වීමට සමගාමීව දේශීය වශයෙන් ද නූඩ්ල්ස් වැනි ක්ෂණික ආහාරවල පාරිභෝජනය සීග්‍ර වශයෙන් ඉහළ ගොස් තිබෙන බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණා. 

මූලාශ්‍ර:

MBC 뉴스데스크 2020.09.04 - https://www.youtube.com/watch?v=2B2SNw1Pibs

Korea Joongang Daily 2020.06.25 - https://koreajoongangdaily.joins.com/2020/06/25/business/industry/kimchi-ramyeon-exports/20200625201100215.html

Image source - Google Images

Aug 14, 2020

අගෝස්තු 15 - කොරියාවේ ජාතික නිදහස් දිනය; 8월 15일 광복절; August 15 - National Liberation Day of Korea


ජාතික නිදහස් දිනය (අගෝස්තු 15) යනු දකුණු සහ උතුරු කොරියානු දෙරට විසින්ම සමරනු ලබන නිවාඩු දිනයකි. ජපානයෙහි අධිරාජ්‍යවාදී පාලනයෙන් කොරියාව නිදහස ලැබීම මෙදින සමරනු ලබයි. 1945 අගෝස්තු 15 දින ජපානය කොන්දේසි විරහිතව ඒකාබද්ධ හමුදාවන්ට යටත් වීමත් සමඟ කොරියානුවන් දිගු කලක් පුරා සිහින දුටු විමුක්තිය උදාවිය. 

1910 දී අධිරාජ්‍යවාදී ජපානය විසින් කොරියාව (එවක චෝසන් අධිරාජ්‍ය වශයෙන් හැඳින්වූ) බලහත්කාරයෙන් තම රටට ඈඳා ගැනීමත් සමඟ කොරියාව ජපානයේ යටත් විජිතයක් බවට පත් විය. දේශප්‍රේමී කොරියානුවෝ එතැන් සිට රට තුල මෙන්ම වෙනත් රටවල ද සිට දිවිහිමියෙන් තම නිදහස වෙනුවෙන් කැපවූහ. සටන් කළහ. ඒ නිසාම වධ බන්ධනයන්ට හා සිරගත කිරීම් වලට ලක්වූහ. දිවි පිදූහ. එම කැපකිරීම් වල අවසන් ප්‍රථිපලය වූයේ 1945 අගෝස්තු 15 දින කොරියාව යටත්විජිතකරණයෙන් නිදහස් වීමයි. මෙම වසරේදී (2020) සමරනුයේ එහි 75 වැනි සංවත්සරයයි.

මෙම දිනයේ විශේෂත්වයක් වනුයේ දකුණු සහ උතුරු කොරියාව යන දෙරට විසින්ම සමරන එකම පොදු නිවාඩු දිනය මෙය වීමයි. දකුණු කොරියාවේ මෙම දිනය 광복절 (Gwangbokjeol) නමින් හැඳින්වෙන අතර උතුරු කොරියානුවෝ මෙය 조국해방의 날 (Jogukhaebangui nal) නමින් හඳුන්වති. 광복절 යන්නෙහි වාච්‍ය අර්ථය වනුයේ "ආලෝකය යළි පැමිණි දිනය - the day the light returned" යන්නයි. 광 යන්නෙන් 'ආලෝකය' ද 복 යන්නෙන් 'ප්‍රතිස්ථාපනය/ නැවත පැමිණීම' ද 절 යන්නෙන් 'නිවාඩුව' ද අරුත් ගැන්වේ.

අපි ද සමස්ත කොරියානු ජාතියටම 'සුභ ජාතික නිදහස් දිනයක් වේවා!" යැයි සුභාශිංසන එක් කරන්නෙමු!

Image source: https://www.shutterstock.com/image-vector/national-liberation-day-korea-concept-design-1439387708

Aug 4, 2020

කොරියානු ජනරජයේ ශිෂ්‍යත්වලාභීන් (2020) සඳහා වන නම්නීකරණ වැඩසටහන - Orientation for GKS 2020 Recipients

කොරියානු ජනරජයේ ශිෂ්‍යත්වලාභීන් ගේ ආදී විද්‍යාර්ථීන්ගේ සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව, ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලයේ සාදර අනුග්‍රහයෙන් සංවිධානය කරන ලද, 2020 කොරියානු ජනරජයේ පශ්චාද් උපාධි ශිෂ්‍යත්වලාභීන් සඳහා වූ නම්නීකරණ වැඩසටහන 2020 අගෝස්තු 4 දින කොළඹදී සාර්ථකව පවත්වන්නට යෙදුණි.

නවක  ශිෂ්‍යත්වලාභීන්ගේ ඉදිරි වසර 3-4ක කොරියානු අධ්‍යාපන ජීවිතය සාර්ථක කර ගැනීමට වැදගත් වන මූලික කරුණු සහ ඔවුනට එහිදී මුහුණ දීමට සිදුවිය හැකි අභියෝග සහ ඉඩප්‍රස්ථා සාකච්චා කිරීමත්, ආදී විද්‍යාර්ථීන්ගේ අත්දැකීම් හුවමාරු කරගැනීමත්, ශිෂ්‍යත්වලාභීන්ගේ ගැටළු සඳහා පිළිතුරු ලබා දීමත් මෙහිදී සිදු විය. 

ආදී විද්‍යාර්ථීන්ගේ සංසදයේ වත්මන් සභාපතිවරයා වන ආචාර්ය තරංග රණසිංහ සහ හිටපු සභාපති ආචාර්ය අරුණ රණවීර යන සම්පත් දායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම  නම්නීකරණ වැඩසටහනට ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්තුමියගේ මෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ කොරියානු භාෂාව පිලිබඳ ආරාධිත මහාචාර්යවරියගේ ගෞරවණිය දායකත්වයද ලැබුණි.  

ඉතා සුහද ලෙස පැවැත්වුණු මෙම වැඩසටහන කොරියානු සම්ප්‍රදායික ආහාරයන්ගෙන් යුතු දිවා භෝජන සංග්‍රහයකින්ද සමන්විත වූ අතර තම ඉදිරි කොරියානු අධ්‍යාපන ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා මෙම නම්නීකරණ වැඩසටහන ඉතා ප්‍රයෝජනවත් වනු ඇති බවට නවක ශිෂ්‍යත්වලාභීහු විශ්වාසය පළ කළහ.



An Orientation Programme for GKS 2020 Graduate Scholars, organized by the GKS Alumni Sri Lanka Chapter an generously sponsored by the Korean Embassy in Sri Lanka, was successfully held on August 4, 2020 in Colombo.

This year's (2020) Global Korea Scholarship (GKS, formerly known as Korean Government Scholarship Programme or KGSP) graduate students will be departing to Korea soon. Therefore, the orientation program was focused on things that are of important for a successful life of studying abroad including the challenges and opportunities as a foreign student in Korea, useful tips for living in Korea, etc. followed by an exchange of experiences of the alumni members and answers to the questions of the scholarship recipients.

Dr. Tharanga Ranasinghe (University of Kelaniya), current president of the GKS Alumni Association Sri Lanka Chapter as well as Dr. Aruna Ranaweera (University of Kelaniya), immediate past president of the association were the resource persons. The event was graced with participation of the 3rd Secretary of the Korean Embassy in Sri Lanka as well as the Visiting Professor in Korean Language, University of Kelaniya.

The event was followed by a delicious lunch with traditional Korean food. The participants believed that the orientation program will be very useful for their life in Korea as a foreign student. 

The GKS Alumni Sri Lanka Chapter takes this opportunity wish all the best for this year's GKS Graduate Scholarship Recipients.

Jul 22, 2020

නව කොරෝනා වෛරසය සහ දකුණු කොරියාව - New Coronavirus (COVID 19) and South Korea

දකුණු කොරියාවේ නව කොරෝනා වෛරසය පිලිබඳ තොරතුරු දැනගැනීම සඳහා වන නිල වෙබ් අඩවිය අද මම ඔබට හඳුන්වා දීමට කැමතියි. එය සෞඛ්‍ය හා සුබසාධන අමාත්‍යංශයේ නව කොරෝනා වෛරසය පිළිබඳ  වෙබ් අඩවිය යි.

වෙබ් ලිපිනය : http://ncov.mohw.go.kr/en

මෙම වෙබ් අඩවියට අනුව මේ වනවිට එරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 13,879ක් වන අතර එයින් 12,698ක් නිරෝධායන කටයුතු සාර්ථකව නිමකර ඇති අතර තව දුරටත් නිරෝධායනය වන/ ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 884 ක්. මේ දක්වා එරටින් වාර්තා වන්නේ මරණ 297ක් පමණයි. විශේෂත්වය වනුයේ නව කොරෝනා වෛරසය පිලිබඳ පරික්ෂාකිරීම් මිලියන 1.4ක් එරට සෞඛ්‍ය අංශ මගින් දැනටමත් සිදුකර තිබීමයි.

කොරෝනා වෛරසයේ බලපෑමට පළමුව ලක් වූ රටවල් කිහිපය අතරින් එකක් වන දකුණු කොරියාව එම වසංගත තත්ත්වය පාලනය කල ආකාරය ලොව බොහෝ රටවල පැසසුමට ලක් වුණා. දෙවැනි රැල්ලක් ඇති වුවද එරට ශක්තිමත් සෞඛ්‍ය පද්ධතිය ට එය පහසුවෙන් පාලනය කර ගැනීමට මේ වන විට හැකියාව ලැබී තිබෙනවා.

කොරියානු අධ්‍යයන පිලිබඳ ශාස්ත්‍රීය සංග්‍රහය සඳහා ලිපි සම්පාදනය කිරීම - Call for Papers on Korean Studies


--කොරියානු අධ්‍යයන පිලිබඳ ශාස්ත්‍රීය සංග්‍රහය සඳහා

ලිපි සම්පාදනය කිරීමට ආරාධනා කිරීම--

කොරියානු ජනරජයේ ශිෂ්‍යත්වලාභීන්ගේ ආදි විද්‍යාර්ථී සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව (GKS Alumni Association, Sri Lanka Chapter) මගින් අප සංගමයේ ආදී විද්‍යාර්ථීන්ද ඇතුළු කොරියානු අධ්‍යයන පිලිබඳ විශේෂඥතාවක් උසුලන විද්වතුන්, පර්යේෂකයන් හා වෘත්තිකයන්ගේ දායකත්වයෙන් සම්පාදනය කෙරෙන 'කොරියානු අධ්‍යයන - Korean Studies' පිලිබඳ ශාස්ත්‍රීය සංග්‍රහය සඳහා ශාස්ත්‍රීය ලිපි සම්පාදනය කරන මෙන් ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. 

කොරියානු අධ්‍යයන (Korean Studies) පිලිබඳ නිර්වචනය: කොරියානු අධ්‍යයන (Korean Studies) යනු කලා, මානවශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා විෂය ක්ෂේත්‍රයන්හි කොරියානු පාර්ශ්වය ආවරණය කෙරෙන අන්තර්විෂයයික ක්ෂේත්‍රයකි (කොරියානු ඉතිහාසය, සංස්කෘතිය, සාහිත්‍යය, කලාව (සම්ප්‍රදායික සහ ජනප්‍රිය), ජනශ්‍රැතිය, සංගීතය, භාෂාව, සමාජය, දේශපාලනය, ආර්ථිකය ඇතුළුව). තවත් අයුරකින් පවසයි නම් කොරියාව පිළිබඳව (දකුණු හා උතුරු කොරියානු රාජ්‍යයන් මෙන්ම කොරියානු ඩයස්පෝරාව ද ඇතුළත්ව) අධ්‍යයනය කිරීම කේන්ද්‍ර කරගත් විෂය ක්ෂේත්‍රයකි. 

මෙම ශාස්ත්‍රීය කෘතිය 2020 නොවැම්බර් මස මැද භාගයේදී එළි දක්වන්නට සැලසුම් කරන අතර ඔබගේ ශාස්ත්‍රීය ලිපියේ අත්පිටපත 2020 සැප්තැම්බර් මස 20 (ඉරිදා) දින හෝ ඊට පෙර අප වෙත යොමු කරන මෙන් කාරුණිකව සිහිපත් කරමු. 

ඔබට අමතරව මෙම විෂය ක්ෂේත්‍රය යටතේ ලිපි සම්පාදනය කළ හැකි කොරියානු අධ්‍යයන පිලිබඳ විශේෂඥතාවක් උසුලන අනිකුත් විද්වතුන්, පර්යේෂකයන් හෝ වෘත්තිකයන් සිටියි නම් ඔවුන් ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර ශාස්ත්‍රීය ලිපියක් සම්පාදනයට දිරි ගන්වන මෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිමු. 

ලිපි සම්පාදනය සඳහා උපදෙස්: 

i. වචන සංඛ්‍යාව: 6000 ට නොවැඩි (ගොණු වර්ගය: MS Word හෝ Hangul Office) 

ii. භාෂාව: සිංහල, ඉංග්‍රීසි හෝ කොරියානු

iii. සාර සංග්‍රහය (Abstract): සිංහල, ඉංග්‍රීසි, කොරියානු භාෂා ත්‍රිත්වයෙන් (කොරියානු බසින් සාර සංග්‍රහය සම්පාදනයේදී අවශ්‍ය නම් සංස්කාරක මණ්ඩලයේ සහාය ලබාගත හැකිය.) 

iv. ආශ්‍රිත ග්‍රන්ථ ලැයිස්තුව: American Psychological Association (APA) Style අනුව සම්පාදනය කල යුතුය 

v. අත්පිටපත එවිය යුතු ඊමේල් ලිපිනය: tharangad@kln.ac.lk ; arunaran@kln.ac.lk 

vi. අත් පිටපත් භාර ගන්නා අවසාන දිනය: 2020 සැප්තැම්බර් මස 20 දින හෝ ඊට පෙර 

මෙම ශාස්ත්‍රීය කෘතියේ ඇතුළත් සියළුම ලිපි විද්වත් මණ්ඩලයක අධීක්ෂණයෙන් (peer review) පසුව ISBN අංකයක්ද සහිතව මුද්‍රණද්වාරයෙන් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කෙරේ. 

--Call for Papers on Korean Studies—

Global Korea Scholarship (GKS) Alumni Association, Sri Lanka Chapter (also known as Korean Government Scholarship Program (KGSP) Alumni Association) cordially invites its valued alumni members and other distinguished academics, researchers and professionals, those who have an interest on Korean Studies, to submit their manuscripts for the edited volume on “Korean Studies” which will be published in mid-November 2020. 

Definition on Korean Studies: An interdisciplinary field which draws upon the Korean aspects of disciplines in the arts, humanities and social sciences (including Korean history, culture, literature, arts, folklore, music, language, society, politics, economics). In other words, it is an academic discipline that focuses on the study of Korea, which includes the Republic of Korea, the Democratic People's Republic of Korea, and diasporic Korean populations. 

Guidelines for Submission of Papers: 

i) Length of the Paper: Not more than 6000 words 

ii) Format: MS Word or Hangul Office 

iii) Language: Sinhala, English or Korean 

iv) Abstract: in Sinhala, English and Korean (Editorial staff may assist you to compile the Korean abstract, if necessary) 

v) Bibliographic Referencing Style: American Psychological Association (APA) Style 

vi) Deadline for Submissions: on or before 20th September, 2020 

Please submit your manuscript via email to the following addresses: 


Submitted manuscripts will undergo a peer review process before publishing in this edited volume with an ISBN.

Feb 14, 2020

පශ්චාත් උපාධි සඳහා වන කොරියානු රජයේ ශිෂ්‍යත්ව - 2020

2020 වර්ෂයේ කොරියානු රජයේ පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව (Masters, PhD) වැඩසටහන සඳහා මේ දිනවල අයදුම්පත් කැඳවනු ලැබ තිබෙනවා. කොරියානු රජයේ අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති 'ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා වන ජාතික ආයතනය (NIIED)' මගින් ලබාදෙන 'Global Korea Scholarship - GKS' නම් මෙම ශිෂ්‍යත්වය සඳහා පහත ක්‍රම 2න් එක් ක්‍රමයක් හරහා පමණක් අයදුම් කල හැකිය.

1. මෙරට කොරියානු තානාපති කාර්යාලය හරහා අයදුම් කිරීම , හෝ
2. කොරියාවේ විශ්වවිද්‍යාලයක් හරහා අයදුම් කිරීම

මෙරට කොරියානු තානාපති කාර්යාලය හරහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2020 මාර්තු 15

වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය  බලන්නhttp://overseas.mofa.go.kr/lk-en/brd/m_2309/view.do?seq=759790

කොරියාවේ විශ්වවිද්‍යාලයක් හරහා අයදුම්පත් භාරගන්නා දින වකවානු තීරණය කරනුයේ ඒ ඒ විශ්වවිද්‍යාල මගින් වන අතර සාමාන්‍යයෙන් පෙබරවාරි-මාර්තු අතර කාලය තුළ අයදුම්පත්‍ර භාරගැනීම සිදු කෙරෙනවා.

ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳ වැඩි විස්තර සඳහා පහත වෙබ් අඩවිය බලන්න.

'Study in Korea' Website: http://www.studyinkorea.go.kr/en/main.do

Jan 24, 2020

70 වැනි TOPIK විභාගය - 2020 මැයි 24 ශ්‍රී ලංකාවේදී

ශ්‍රී ලංකාවේදී ඔබටත් TOPIK විභාගයට පෙනී සිටිය හැකි බව දන්නවා ද?

70 වැනි TOPIK විභාගය 2020 මැයි 24 වැනි ඉරිදා කැලණිය විශ්වවිද්‍යාලයේදී පැවැත්වෙනවා. මෙ විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන ඔබට පෙබරවාරි 10 සිට 24 දක්වා ඒ සඳහා අයදුම් කල හැකියි. අයදුම්පත් භාර දිය යුත්තේ කොළඹ 7 පිහිටි කොරියානු තානාපති කාර්යාලයටයි.

මේ සඳහා අවශ්‍ය  වනුයේ:

- නිසි පරිදි සම්පුර්ණ කල අයදුම්පත්‍රය
- හැඳුනුම්පත් ප්‍රමාණයේ චායාරූප 02 (3 cm X 4 cm)
- වලංගු ගමන් බලපත්‍රය
- ලියාපදිංචි ගාස්තු: රු. 2000.00

අයදුම්පත්‍රය බාගත කිරීමට සහ වැඩි විස්තර සඳහා කොරියානු තානාපති කාර්යාලයේ වෙබ් අඩවියට පිවිසෙන්න: http://overseas.mofa.go.kr/lk-en/brd/m_2309/view.do?seq=759785 

පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර බාගත කිරීම, ආදර්ශ ප්‍රශ්නපත්‍ර, පාඩම් මාලා ඇතුළු විභාගය සම්බන්ධ මාර්ගෝපදේශ සඳහා පිවිසෙන්න: https://www.topikguide.com/

Dec 6, 2019

Soban (소반) හෙවත් ගෞරව බහුමානයේ මේසය. Soban: Table of Respect

කොරියානුවෝ කුඩා කෑම මේසයක් වටා එකතුවී ආහාර බඳුන් සහ ව්‍යංජන බෙදාහදාගෙන අනුභව කරනු ඔබ දැක ඇත. මේසයක් මෙන්ම බන්දේසියක් වශයෙන්ද ක්‍රියා කරන, පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි මෙම කුඩා කෑම මේසය හඳුන්වනුයේ Soban (소반) යන නමිනි. කොරියානුවන්ගේ බිම වාඩි වී අනුභව කිරීමේ සංස්කෘතියට වඩාත් ගැලපෙන මෙම කෑම මේසය කොරියානු සම්ප්‍රදායික නිවාස ව්‍යුහයේ එන කාමර සහ මුළුතැන්ගෙය අතර පැවති දුරස්ථබවටද ප්‍රායෝගික විසඳුමක් විය. ගෘහණියන්ට මුළුතැන්ගෙයි සිට කෑම කාමරය දක්වා පහසුවෙන් ගෙන යා හැකි වන පරිදි කාන්තාවන්ගේ උරහිසෙහි පළලට ගැළපෙන සේ පටු දිගකින් යුතුව සකස්වූ Soban මේසය ginkgo (은행나무) වැනි සැහැල්ලු දැවයකින් නිර්මාණය විය. චෝසන් යුගයේ (1392-1910) සෑම නිවසකම අත්‍යාවශ්‍යයෙන්ම තිබිය යුතු ගෘහ භාණ්ඩයක් ලෙස Soban සැලකුනි.
ඡායාරූප මූලාශ්‍රය: 국립민속박물관 ඇසුරිනි

කොන්ෆියුශියානු ඉගැන්වීම්වලට අනුව වැඩිමහල්ලන්ට ඉමහත් ලෙස ගෞරව කල යුතු වීමත් ස්ත්‍රීන් සහ පුරුෂයන් අතර පැවති දුරස්ථ භාවයත් හේතුවෙන් පවුලේ සාමාජිකයන් සැමට එකම මේසයක වාඩි වී අනුභව කිරීමට අනුබල නොලැබුණි. එබැවින් තනතුර, වයස සහ ස්ත්‍රී පුරුෂ භාවය වැනි සමාජමය සාධක මත කවරෙකු තවත් කවුරුන් සමග Soban කෑම මේසයට වාඩිවන්නේදැයි තීරණය විය. උදාහරණ වශයෙන් සමාජ තත්ත්වයෙන් උසස් පුද්ගලයන් සහ වයසින් වැඩිමහල් අය එක් මේසයක වාඩි වූ අතර පවුලේ සමීප සාමාජිකයන් සහ මිතුරන් තවත් මේසයක වාඩි වූහ. ඒ අනුව එක් ගෘහයක Soban කිහිපයක් තිබූ අතර වංශවතුන්ගේ නිවෙස් වල එබඳු කුඩා කෑම මේස දුසිම් ගණනක් තිබුණි.

කොරියානු සංස්කෘතික උරුම පරිපාලන ආයතනයේ (Cultural Heritage Administration) Korean Heritage වෙබ් අඩවියේ එන 'Soban හෙවත් අනාගතය සඳහා උචිත සාම්ප්‍රදායික කෑම මේසය, 소반, 문화가 시작되는 무형의 공간' නැමති ලිපිය කියවීමට පහත සබැඳියාවට යොමු වන්න: http://www.koreanheritage.kr/interview/view.jsp?articleNo=90

කොරියාවේ දකුණු චොල්ලා පළාතේ නාජු හි වෙසෙන සම්ප්‍රදායික Soban නිර්මාණ ශිල්පියෙකු වන Kim Chun-sik හා සිදුකල සම්මුඛ සාකච්චාවක් නැරඹීම සඳහා පහත YouTube සබැඳියාවට පිවිසෙන්න: https://www.youtube.com/watch?time_continue=47&v=omh9FmmAKq4&feature=emb_logo

Dec 4, 2019

කොරියානු අධ්‍යයන වැඩමුළුව සහ වාර්ෂික හමුව 2019 - Korean Studies Workshop and the AGM

ශ්‍රී ලංකා-කොරියා තරුණ අධ්‍යාපන ජාලය සහ කොරියානු ජනරජයේ ශිෂ්‍යත්වලාභීන්ගේ සංසදය මගින් සංවිධානය කල කොරියානු අධ්‍යයන වැඩමුළුව සහ වාර්ෂික හමුව පසුගිය නොවැම්බර් 23 වන සෙනසුරාදා ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී උත්සවාකාරයෙන් පැවැත්වුණි.

කොරියානු ජනරජයේ ශිෂ්‍යත්වලාභීන්ගේ සංසදයේ සභාපති ආචාර්ය අරුණ රණවීර මහතා විසින් පිළිගැනීමේ කතාව පැවැත්වූ අතර පශ්චාද් උපාධි අධ්‍යයන සඳහා දකුණු කොරියාවට ගිය ප්‍රථම ශ්‍රී ලංකික ශිෂ්‍යයා වශයෙන් සිය අත්දැකීම් බෙදාහදා ගනිමින් වැඩමුළුවේ මුඛ්‍ය දේශනය පවත්වන ලද්දේ කැලණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය දයා එදිරිසිංහ මහතා විසිනි. ආචාර්ය තරංග රණසිංහ මහතා විසින් 'කොරියානු අධ්‍යයන සඳහා වන තොරතුරු සේවා' පිලිබඳ ඉදිරිපත් කිරීමකින් අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අධ්‍යයන අංශයේ කොරියානු ඒකකයේ සිසුන් විසින් 'කොරියානු අධ්‍යයන' විෂය ක්ෂේත්‍රය අළලා ඉදිරිපත් කිරීම් (presentation) 4 ක් සිදු කල අතර එකී සිසුන් විසින් ඉදිරිපත් කල කොරියානු නර්තනාංගයන්ගෙන් උත්සවය වර්ණවත් විය. උත්සවයේ ස්තූති  කතාව කථිකාචාර්ය අමිලජිත් ලීලාරත්න මහතා විසින් පවත්වන ලදී.

උත්සවයේ ඡායාරූප සඳහා කොරියානු තානාපති කාර්යාලයේ නිල Facebook අඩවියට පිවිසෙන්න: https://www.facebook.com/korembsl/posts/2988817327812290

Nov 22, 2019

කොරියානු අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රීය සඟරා - Academic Journals on Korean Studies - 한국학 관련된 학술지 소개합니다

අද මම ඔබට හඳුන්වා දෙන්නේ කොරියානු අධ්‍යයන විෂයය සම්බන්ධ ගැඹුරු අධ්‍යයන සහ පර්යේෂණයන්හි නිරත වන අයට ප්‍රයෝජනවත් ජාත්‍යන්තර ශාස්ත්‍රීය වාරසඟරා කිහිපයකි. මෙම සඟරාවන්හි කොරියානු අධ්‍යයනයන්ට සම්බන්ධ ශාස්ත්‍රීය ලිපි, පර්යේෂණ ලිපි, විචාර ලිපි යනාදිය පළ වේ.

1. Korea Journal: http://www.ekoreajournal.net/main/index.htm

කොරියානු අධ්‍යයන ඇකඩමිය (AKS) මගින් පළ කරන මෙම සඟරාව 1961 සිට කොරියානු අධ්‍යයන විෂයය සම්බන්ධ සම්මත වාරසඟරාවක් ලෙස සැළකේ.  තවද Thomson Reuters ආයතනයෙහි A&HCI හි අනුක්‍රමණිකාගත ප්‍රථම කොරියානු ප්‍රකාශනය ද වේ. වසරකට කළාප 4 ක් පළවේ. අන්තර්ජාලය හරහා නොමිළයේ කියවිය හැකිය.

2. The Review of Korean Studies: https://review.aks.ac.kr/lab/journal.do?idx=2&tab=1

කොරියානු අධ්‍යයන ඇකඩමිය (AKS) මගින් පළ කරන තවත් ශාස්ත්‍රීය සඟරාවකි. 1998 දී පළමු වරට පළවූ මෙම සඟරාව ESCI, KCI යන සේවාවන්හි අනුක්‍රමණිකාගත වේ. කොරියානු අධ්‍යයන විෂය ක්ෂේත්‍රය සම්බන්ධව ආසියානු සහ බටහිර විද්වතුන්ගේ අදහස්, න්‍යායන් සහ දෘෂ්ටි කෝණයන් සංවාදයට ලක් කිරීම සහ හුවමාරු කරගැනීමේ වේදිකාවක් තැනීම මෙම සඟරාවෙහි අරමුණයි. අර්ධ වාර්ෂිකව පළ වන මෙහි එන ලිපි අන්තර්ජාලය හරහා නොමිළයේ කියවිය හැකිය.

3. The International Journal of Korean Studies (IJKS) : http://icks.org/n/bbs/content.php?co_id=FALL_WINTER_2018

කොරියානු අධ්‍යයන පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය (ICKS) මගින් පළ කරන අර්ධ වාර්ෂික ශාස්ත්‍රීය වාර සඟරාවකි. අන්තර්ජාලය හරහා නොමිළයේ කියවිය හැකිය.

මෙම පෝස්ටුව ඉදිරියේදී තවදුරටත් යාවත්කාලීන වනු ඇත.

Nov 21, 2019

අද වැනි දවසක කොරියාව (නොවැ. 21) Today in Korean History (Nov. 21) 역사 속 오늘 (11월 21일)

1972 නොවැම්බර් 21: ජනපති පක් ජුන්-හ්වී විසින් ඉදිරිපත් කල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයේදී 91.5% කින් සම්මත වීම. යූෂින් යනුවෙන් හඳුන්වන මෙම ව්‍යස්ථාව මගින් ජනපතිවරයාට අසීමිත ඒකාධිපති බලතල පවරන ලද අතර ඒ අනුව 1979 දී ඝාතනයට ලක්වන තුරුම හෙතෙම ජනපති ධූරය හෙබවීය.

1997 නොවැම්බර් 21:ආසියානු මුල්‍ය අර්බුදය හේතුවෙන් දැඩි ලෙස අසීරුතාවයට ලක් වූ දකුණු කොරියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) තම ආර්ථිකය උදෙසා මූල්‍ය සහනයක් ඉල්ලා සිටි අතර ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඩොලර් බිලියන 58 ක සහන පැකේජයක් ලබා දුනි.

2016 නොවැම්බර් 21: ප්‍රධාන විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (Democratic Party) සහ විපක්ෂයේ තවත් සුළු පක්ෂ 2 ක් විසින් ජනපතිනි පක් ග්යුන්-හේ ට විරුද්ධව (ඇයගේ දිගුකාලීන මිත්‍ර චොයි සුන්-ශිල් ට එල්ල වූ දූෂණ චෝදනා කේන්ද්‍ර කරගනිමින්) විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කිරීම. මෙම විශ්වාසභංග යෝජනාව දෙසැ. 9 දින ජාතික මන්ත්‍රණ සභාවේදී (පාර්ලිමේන්තුවේදී) 234-56 ක් වශයෙන් සම්මත වූ අතර ව්‍යස්ථාදායක අධිකරණය විසින් 2017 මාර්තු 10 දින පාර්ලිමේන්තුවේ එම තීරණය සම්මත කරමින් ප්‍රකාශයට පත් කල තීන්දුව අනුව ජනපතිනියට සිය ධූරය වහාම ක්‍රියාත්මක වන පරිදි අහිමි විය.

මූලාශ්‍රය:  https://en.yna.co.kr/history/index

Nov 1, 2019

කොරියාවේ නව දක්ෂිණ ප්‍රතිපත්තිය : එහි දැක්ම සහ එය මුහුණ දෙන අභියෝග (පරිවර්තනයකි)

[මෙම ලිපිය KIEPopinions හි 146 කළාපයෙහි පළවූ Sungil Kwak ගේ Korea's New Southern Policy: Vision and Challenges නැමති ලිපියෙහි (සංක්ෂිප්ත) සිංහල පරිවර්තනයකි. මුල් කතුවරයාගේ පූර්ණ අවසරය යටතේ සිංහලයට පරිවර්තනය කරන ලදී.]

කොරියාවේ නව දක්ෂිණ ප්‍රතිපත්තිය : එහි දැක්ම සහ එය මුහුණ දෙන අභියෝග. 

කර්තෘ: Sungil Kwak (නොවැ. 12, 2018)

නව දක්ෂිණ ප්‍රතිපත්තියෙහි දැක්ම

කොරියානු රජයේ නව දක්ෂිණ ප්‍රතිපත්තියෙහි (신남방정책) අරමුණු වන්නේ දක්ෂිණ කළාපයෙහි ප්‍රධාන කොටස්කරුවන් වන ආසියාන් රටවල් සහ ඉන්දියාව සමග සබඳතා වැඩි දියුණු කරගැනීමත්, එකී සබඳතා කොරියාවේ සාම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික කොටස්කරුවන් හතර දෙනා (ඇ.එ.ජ., චීනය, ජපානය, රුසියාව) ගේ මට්ටමට ගෙන ඒමත්, අන් අය හා සංවේදනය කළ හැකි වටිනාකම් සංවර්ධනය, සහ අන්‍යොන්‍ය වශයෙන් සුඛිත මුදිත "මානව-කේන්ද්‍රීය" ප්‍රජාවක් ගොඩ නැංවීමත් ය. තවද නව දක්ෂිණ ප්‍රතිපත්තිය මගින්, ට්‍රම්ප් පරිපාලනය ආරම්භයත් සමඟම බල ගැන්වුණු, ඇ.එ.ජ. හි ස්වදේශීය කටයුතු සඳහා වන ප්‍රමුඛතාවය ට ගැළපෙන පරිදි මෙන්ම නැගෙනහිර ආසියාව තුළ චීනයේ බලපෑම ව්‍යාප්ත වීමට ගැළපෙන පරිදි  බහු පාර්ශවීය ආර්ථික සහ රාජ්‍ය තාන්ත්‍රික රාමුවක් සැකසීම අරමුණු කෙරේ. කොරියාවේ අන්තර්ජාතික වෙළඳාම බහුලව රඳා පවතිනුයේ ඇ.එ.ජ. සහ චීනය මතය. පසුගිය වසර 3 පුරා (2015-2017) කොරියාවේ සමස්ත අපනයනයන්ගෙන් 38.1% ක් එම රටවල් 2 සමඟ සිදු විය. තවද කොරියාවේ සමස්ත ආනයන සහ අපනයනය වටිනාකම සළකා බලන කළ එයින් 35% ක්ම ඇ.එ.ජ. සහ චීනය සමඟ විය. මෙලෙස සිය ජාත්‍යන්තර වෙළඳ ව්‍යුහය නිශ්චිත රටවල් කිහිපයක් මත පමණක් පදනම් වීම හේතුකොටගෙන එම රටවල් වල විදේශ ප්‍රතිපත්තියේ සහ විදේශ වෙළඳ ප්‍රතිපත්තිවල වෙනස්වීම් වලට අවනත වීමට දකුණු කොරියාවට සිදුව ඇත. නිදසුන් වශයෙන්  2016 දී තාඩ් (THAAD) ප්‍රශ්නය මුල් කරගෙන දකුණු කොරියාව හා චීනය අතර සබඳතා අසීරු අඩියකට පත් වීමත්, ට්‍රම්ප් පරිපාලනය ආරම්භයත් සමඟම බල ගැන්වුණු, ඇ.එ.ජ. හි ප්‍රබල ජාතිකවාදී ප්‍රවණතා හේතුවෙන් එරටට සිදු කරන අපනයන කෙරෙහි අසීරු බලපෑම් එල්ල වීමත් සඳහන් කළ හැක. එබැවින් කොරියාවට සිය විදෙස් ආර්ථික ප්‍රතිපත්තිය තම රටෙහි ලාභාංශ විශ්වසනීයව වැඩි කරගැනීමට හැකි වන පරිදි සකසා ගැනීමට අවශ්‍ය නම්  පළමුව කළ යුතු වනුයේ මෙතෙක් නිශ්චිත රටවල් කිහිපයක් මත පමණක් කේන්ද්‍රීය වූ තම වෙළඳ ව්‍යුහය විවිධාංගීකරණයත් එමගින් බාහිර තර්ජන අවම කර ගැනීමත්ය. නව දක්ෂිණ ප්‍රතිපත්තිය මගින් අරමුණු කෙරෙනුයේ හුදෙක් ඇ.එ.ජ. සහ චීනය වෙනුවට නව දක්ෂිණ කළාපය සමඟ සම්බන්ධතා පැවැත්වීම නොව ඇ.එ.ජ. සහ චීනය සමඟ සම්බන්ධතා පවත්වා ගන්නා අතරතුර සිය ආර්ථික සහයෝගීතාවයේ නිම්වළලු පුළුල් කර ගැනීමයි. එබැවින් නව දක්ෂිණ ප්‍රතිපත්තියේ දැක්ම සංක්ෂිප්තව ඉදිරිපත් කරන්නේ නම් මෙසේය. දකුණු කොරියාව සිය ජාතික ප්‍රායෝගික රුචිකත්වයන්ට ප්‍රමුඛත්වය දෙමින් වඩාත් සමබර රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙතක් මත පදනම් වූ උපායමාර්ගික විදේශ ප්‍රතිපත්තියක් තම ප්‍රධාන සාම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික කොටස්කරුවන් සිව්දෙනා (ඇ.එ.ජ., චීනය, ජපානය, රුසියාව) සහ නව දක්ෂිණ කළාපයන් සමඟ පවත්වාගෙන යාමයි.