Oct 22, 2019

කොරියානු ආහාර කලාව - Korean Food Culture

කොරියානු ආහාර කලාවට කොරියානු සංස්කෘතිය තුළ හිමි වනුයේ අද්විතීය ස්ථානයකි. කොරියානු සංස්කෘතිය ලොව පුරා ජනප්‍රිය වීමට එහි ආහාර කලාව බෙහෙවින් බලපා ඇත. කොරියානු ආහාර කලාව, සූප ශාස්ත්‍රය, අහාර වට්ටෝරු පිලිබඳ අන්තර්ජාලයෙහි ඇති වෙබ් අඩවි දස දහස් ගණනකි. ඒ අතරින් කොරියානු රජයේ 'කොරියානු සංචාරක ආයතන - KTO'යේ  'Visit Korea' වෙබ් අඩවිය වඩාත් සාධිකාරී තොරතුරු මුලාශ්‍රයක් වශයෙන් මෙහිදී ඔබට හඳුන්වා දීමට අදහස් කරමි.

Visit Korea වෙබ් අඩවියට පිවිසෙන ඔබ එහි Food මෙනුව (menu) ඔස්සේ Introduction යන උප මෙනුවට ගමන් කරන්න. එවිට ඔබව කොරියානු ආහාර පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු රැගත් වෙබ් පිටුවට රැගෙන යනු ඇත.

ඒ යටතේ කොරියානු ආහාර පිළියෙළ කීරීමට යොදා ගන්න අමුද්‍රව්‍ය (ingredients), ආහාර වර්ග (main/side dishes), ආහාර මේසය පිළියෙළ කරන සම්මත ආකාර (table settings), ආහාර සිරිත් (food/dining etiquette), ආහාර වට්ටෝරු (cooking recipies) ඇතුළු තොරතුරු රැසක් ඇතුළත්ය. වටිනා, ගුණාත්මක බවින් ඉහළ ඡායාරූප රැසක් මෙහි ඇතුළත් අතර ඒවා ඔබට පහසුවෙන් බාගත (download) කල හැකිය.

එපමණක් නොව මෙහි ඇති උපදෙස් අනුගමනය කරමින් රසවත් කොරියානු ආහාර ඔබටම පිස ගත හැකිය.
[Click 'Read More' for the English version of this post]

Oct 18, 2019

2019 කොරියානු චිත්‍රපට උළෙල (නොවැ. 8-11) 2019 Korean Film Festival (Nov. 8-11)

කොරියානු තානාපති කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන 2019 කොරියානු චිත්‍රපට උළෙල හරහා කොරියානු චිත්‍රපට 04ක් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ට ගෙන එයි. උළෙල නොවැ. 8 දින සිට 11 දින දක්වා කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්වේ.

එහිදී තිරගත වන චිත්‍රපට මෙසේය.


නොවැ. 9: Stand By Me(2018) aka Deok-gu - ප. ව. 3.00 

නොවැ. 10: Tunnel(2016) - ප. ව. 3.00 

නොවැ. 11: Run-off(2016) aka Take Off 2 - ප. ව. 6.30 


මූලාශ්‍රය: Korean Embassy in Sri Lanka

කොරියා - ආසියාන් විශේෂ සමුළුව නොවැම්බරයේ බූසාන්හි දී Korea-ASEAN special summit to be held in Busan in November

කොරියා - අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ආසියාන් ASEAN 동남아시아 국가 연합) අතර සබඳතා ඇරඹී 30 වසරක් පිරීම සමරමින් කොරියා - ආසියාන් විශේෂ සමුළුව නොවැ. 25-26 බූසාන්හි දී පැවැත්වේ. මෙහිදී රාජ්‍ය නායකයෝ කොරියාවේ නව දක්ෂිණ ප්‍රතිපත්තිය (New Southern Policy 신新 남방정책) සමාලෝචනය කර එය කලාපය තුල ව්‍යාප්ත කිරීමේ ශක්‍යතාවය පිළිබඳ අවධානය යොමු කරනු ඇත. ආසියාන් සාමාජික රටවල රාජ්‍ය නායකයෝ 10 දෙනා මීට සහභාගී වෙති.

මීට අමතරව නොවැ. 27 දින බූසාන්හි දී කොරියා-මීකොං (Mekong) සමුළුව ද පැවැත්වේ. ආසියාන් සාමාජික රටවල් අතුරින් වියට්නාමය, තායිලන්තය, මියන්මාරය, ලාඕසය, සහ කාම්බෝජියාව යන රටවල් 5 (මීකොං නදිය ගලා බසිනා රටවල්) මීට සහභාගී වෙයි. කොරියාව සහ මීකොං රටවල් අතර සබඳතා ශක්තිමත් කිරීම මෙම සමුළුවේ අරමුණයි.  

Oct 16, 2019

කොරියානු ආර්ථිකය හරි මඟට - ජනපති මූන් කියයි

දුෂ්කරතා මධ්‍යයේ සිය රටේ ආර්ථිකය හරි මඟට වැටී ඇතැයි දකුණු කොරියානු ජනපතිවරයා පැවසීය. සැප්. 16 වෙනිදා ජනපති මන්දිරයේදී සිය ජ්‍යෙෂ්ඨ ලේකම්වරු අමතමින් ජනපති මූන් වැඩි දුරටත් කියා සිටියේ සිය රජය රැකියා උත්පාදනය සඳහා ප්‍රමුඛත්වය දී ඇති බවත් ඒ සඳහා පසුගිය වසර 2 පුරා දැඩි ලෙස කැප වූ බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් රැකියා උත්පාදනයෙහි ප්‍රමාණාත්මක සහ ගුණාත්මක වර්ධනයක් ඇති වී තිබෙන බවත් ය.

Statistics Korea හි දත්ත උපුටා දක්වමින් ජනපතිවරයා පෙන්වා දුන්නේ පසුගිය වසරට සාපේක්‍ෂව මේ වසරේ අගෝස්තු මස වන විට සේවා නියුක්තිකයන්ගේ සංඛ්‍යාව 450,000 කින් ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව 1990 වර්ෂයෙන් පසුව වයස අවුරුදු 15-64 පරාසයේ උච්ඡතම සේවා නියුක්ති අගය මෙන්ම අවම රැකියා වියුක්ති අගය මේ වසරේදී වාර්තා වන බවයි. ඒ අනුව මේ වසර සඳහා සිය රජයේ අපේක්ෂිත සේවා නියුක්තිය වූ 150,000 ක රැකියා ප්‍රමාණය ඉක්මවා ඇති බව පැවසූ හෙතෙම ආර්ථිකය ඉහළ නැංවීම සඳහා තම රජය තව දුරටත් කැප වී වැඩකටයුතු කරන බවද වැඩි දුරටත් පැවසීය.

ප්‍රවෘත්ති මුලාශ්‍රය: http://www.korea.net/Government/Current-Affairs/National-Affairs/view?affairId=882&subId=747&articleId=175371

Oct 14, 2019

දකුණු කොරියාවේ ජනගහණ ගැටළුව South Korea's Population Paradox

කිසියම් රටක ආර්ථික තත්ත්වයෙහි ඇතිවන වෙනස්කම් එරට මූල්‍ය තත්ත්වය කෙරෙහි පමණක් නොව ජනගහණය කෙරෙහි ද දැඩි බලපෑමක් එල්ල කරයි.  වේගවත් කාර්මීකරණ හේතුකොටගෙන පසුගිය පරම්පරා තුනක් පුරා දකුණු කොරියාව මහත් ආර්ථික දියුණුවක් ලබා ඇත. එහෙත් ඒ හා සමගාමීව එරට ප්‍රධාන ජනගහණ සංක්‍රාන්තියකට (demographic transition) මුහුණ දී ඇත.

වේගයෙන් වයස්ගත වන ජනගහණය, අඩු උපත් අනුපාතිකය සහ විවාහ වීම ප්‍රතික්ෂේප කරන තරුණ පරපුර යන හේතු කරණ කොටගෙන දකුණු කොරියාව අද වන විට ජනගහණ ප්‍රෙහෙළිකාවකට මුහුණ දී සිටී.

ලොව කුඩාම පවුල් ඒකක අතරින් පළමු තැන ලබා සිටින දකුණු කොරියාවේ කාන්තාවකට සිටින දරුවන් සංඛ්‍යාව 1.1 කි. ඒ අනුව ලොව අඩුම සාඵල්‍යතාවකට හිමිකම් කියනුයේ දකුණු කොරියානු කාන්තාවන් ය.

තවද, නිදහස් ජීවිතයක් ගෙවීමේ අභිලාෂය සහ රැකියාව සඳහා ප්‍රමුඛතාව දීම හේතු කොටගෙන කිසිසේත්ම විවාහ වීමට අකමැති තරුණ ජනගහණය ක්‍රමයෙන් ඉහළ යමින් පවතිනු දැකගත හැකිය. 2015 සංගණන දත්ත අනුව වයස අවුරුදු 25-29 අතර කාන්තාවන්ගෙන් තමන් විවාහකයැයි පවසා සිටියේ 23% ක් පමණි. 1970% දී එම ප්‍රමාණය 90% ක් තරම් ඉහළ අගයක් ගත්තේය.

අනෙක් අතට දකුණු කොරියානුවෝ ලොව ඉහළම ආයු අපේක්ෂාවක් සහිත ජාතීන්ගෙන් එකකි. ලොව ආයු අපේක්ෂාවේ සාමාන්‍යය අගය වයස අවුරුදු 72 ක් වන විට දකුණු කොරියානුවන්ගේ ආයු අපේක්ෂාව වයස අවුරුදු 82 කි. 1950 දශකය මැද භාගය වන විට එරට ආයු අපේක්ෂාව වයස අවුරුදු 42 ක් පමණක් විය.

එපමණක් නොව දකුණු කොරියාවේ ජනගහණය වේගයෙන් වයස්ගත වෙමින් පවතී. 1950දී වයස අවුරුදු 65 ට වැඩි ජනගහණය සමස්ත ජනගහණයෙන් 3% කට අඩු වූ නමුත් 2019 දී එම අගය 15% කි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පුරෝකථනයන්ට අනුව 2060 දශකය මැද  භාගය වන විට වයස අවුරුදු 65 ට වැඩි ජනගහණය සමස්ත ජනගහණයෙන් 40% කට වැඩි වනු ඇත. ඒ හා සමගාමීව ජනගහණය පහත වැටීමද සිදු වනු ඇත.

කෙසේ වුවද අනාගතයෙහි ඇතිවිය හැකි සාඵල්‍යතාවයෙහි වෙනස්කම් සහ ජන සංක්‍රමණ රටාවන්හි වෙනස්කම් අනුව මෙම පුරෝකථන වෙනස් විය හැකිය.

Rapid economic development makes a huge impact on the demographic profile of any country. It is true with the Korean society too. South Korea has the lowest fertility rate in the world (1.1 child per woman). An increasing number of young people are choosing never to marry at all. Further, South Korea has one of the highest life expectancies in the world (82 years). By 2019, the population over 65 years of age is 15% of the total population where the UN predicts that it will increase up to 40% by the mid-2060s.

ප්‍රවෘත්ති මූලාශ්‍රය: https://www.bbc.com/worklife/article/20191010-south-koreas-population-paradox

ඡායාරූප මූලාශ්‍රය: https://www.koreatimes.co.kr/www/nation/2018/09/119_241836.html


Oct 9, 2019

හන්ගුල් දිනය අදයි (ඔක්. 9) Hangul Day (Oct. 9)

සේජෝන් මහ රජු විසින් කොරියානු ඉතිහාසයේ මහත් පෙරළියක් කරමින්  'කොරියානු අක්ෂර මාලාව' හඳුන්වා දුන් දිනය (한글날) අදයි (ඔක්. 9). මෙම පෝස්ටුව ලියන මමත් කියවන ඔබත් සුන්දර කොරියානු භාෂාව හදාරන්නේ එතුමන්ට ස්තූති වන්නටයි. 2013 වසරේ සිට 한글날 යෙදෙන ඔක්. 9 දිනය දකුණු කොරියාව විසින්  ජාතික නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. උතුරු කොරියානුවන් මෙම දිනය 조선글날 යනුවෙන් හඳුන්වන අතර ඔවුන් එම දිනය සමරනුයේ සෑම වසරකම ජනවාරි 15 දිනයි.


Sejong Sillok (세종실록) නම් ඓතිහාසික වාර්තාවට අනුව 15 වන සියවසේදී මෙම අක්ෂර මාලාව මුලින් හඳුන්වා දුන්නේ Hunmin Jeongeum (훈민정음)  නමින්ය. එය සම්පාදනය වූයේ නිවැරදිව අක්ෂර උච්චාරණය කරන අයුරු පිලිබඳ පොදු ජනතාවට උපදෙස් ලබා දීමේ අරමුණිනි.  ලේඛන කලාවේදී එතෙක් චීන අක්ෂර (Hanja) භාවිතා කල කොරියානුවන්ට මෙමගින් වඩාත් සරල හා සුගම, එමෙන්ම විද්‍යාත්මක අක්ෂර මාලාවක් (한글) හිමි වූ අතර එය කොරියානු සමාජයේ සාක්ෂරතාව වර්ධනයට මෙන්ම සමාජ සංවර්ධනයට ද බෙහෙවින් දායක වූවාට සැක නැත. එබැවින් කොරියානුවෝ අදටත් සේජෝන් රජුට මහත් හරසර දක්වති.

ඡායාරූපය:  Hunmin Jeongeum (훈민정음). මූලාශ්‍රය: https://en.wikipedia.org/wiki/Hunminjeongeum

한글날 ජාතික නිවාඩු දිනයක් බවට පත්වීම පිලිබඳව කොරියානු බසින් පළවූ ලිපියක් කියවීම සඳහා පහත සබැඳියාවට පිවිසෙන්න. 
https://www.urimal.org/1809