Aug 10, 2021

කොරියානු ජනරජයේ ශිෂ්‍යත්වලාභීන් (2021) සඳහා වන නම්නීකරණ වැඩසටහන - Orientation for GKS 2021 Recipients

කොරියානු ජනරජයේ ශිෂ්‍යත්වලාභීන් ගේ ආදී විද්‍යාර්ථීන්ගේ සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව, ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලයේ සාදර අනුග්‍රහයෙන් සංවිධානය කරන ලද, 2021 කොරියානු ජනරජයේ පශ්චාද් උපාධි ශිෂ්‍යත්වලාභීන් සඳහා වූ නම්නීකරණ වැඩසටහන 2021 අගෝස්තු 9 දින මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ සාර්ථකව පවත්වන්නට යෙදුණි.
නවක ශිෂ්‍යත්වලාභීන්ගේ ඉදිරි වසර 3-4ක කොරියානු අධ්‍යාපන ජීවිතය සාර්ථක කර ගැනීමට වැදගත් වන මූලික කරුණු සහ ඔවුනට එහිදී මුහුණ දීමට සිදුවිය හැකි අභියෝග සහ ඉඩප්‍රස්ථා සාකච්චා කිරීමත්, ආදී විද්‍යාර්ථීන්ගේ අත්දැකීම් හුවමාරු කරගැනීමත්, ශිෂ්‍යත්වලාභීන්ගේ ගැටළු සඳහා පිළිතුරු ලබා දීමත් මෙහිදී සිදු විය. ආදී විද්‍යාර්ථීන්ගේ සංසදයේ හිටපු සභාපති ආචාර්ය අරුණ රණවීර, කොරියානු ජනරජයේ ශිෂ්‍යත්ව වැඩසටහනේ ශ්‍රී ලංකා ප්‍රවර්ධන නියෝජිත ආචාර්ය සචිනි අමරසේකර, කොරියානු ජනරජයේ ශිෂ්‍යත්වලාභී අමිලජිත් ලීලාරත්න යන සම්පත් දායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම නම්නීකරණ වැඩසටහනට ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්තුමියගේ ගෞරවණිය දායකත්වයද ලැබුණි. ආදී විද්‍යාර්ථීන්ගේ සංසදයේ වත්මන් සභාපතිවරයා වන ආචාර්ය තරංග රණසිංහ විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහනේ ස්තූති කථාව පවත්වන ලද්දේ සංගමයේ ලේකම් සේකා වීරසිංහ විසිනි.
ඉතා සුහද ලෙස පැවැත්වුණු මෙම නම්නීකරණ වැඩසටහන තම ඉදිරි කොරියානු අධ්‍යාපන ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ඉතා ප්‍රයෝජනවත් වනු ඇති බවට නවක ශිෂ්‍යත්වලාභීහු විශ්වාසය පළ කළහ.