Sep 5, 2020

කළු වළාවේ රිදී රේඛාව : කොරෝනා අස්සේ කොරියානු නූඩ්ල්ස් සහ අයිස් ක්‍රීම් අපනයන ආදායම ඉහළට - Silver Lining Amid the Dark Cloud: Export income of ramyeon and ice cream doubles amid Corona Virus

කොරෝනා ව්‍යසනය හමුවේ කොරියාවද ඇතුළු ලොව සෑම රටකම පාහේ බොහොමයක් අපනයන නිෂ්පාදනවල අලෙවිය පහළ යාමේ ගෝලීය ප්‍රවණතාවයක් දැකගත හැකි වුවද කොරියානු ක්‍ෂණික නූඩ්ල්ස් හෙවත් රාම්යෝන්ග් (ramyeon 라면) සහ අයිස් ක්‍රීම් යන ආහාර ද්‍රව්‍යයන්හි අලෙවිය සීග්‍රයෙන්  ඉහළ ගොස් ඇති බවට වාර්තා වෙනවා. MBC ප්‍රවෘත්ති සේවයට අනුව බටහිර රටවලද සමාජ දුරස්ථභාවය හේතුවෙන් පුද්ගලයින් නිවසේ ගත කරන කාලය (집콕) වැඩිවීමත් සමග කොරියානු  ආහාර වැඩි වශයෙන් ආහාරයට ගැනීමේ ප්‍රවණතාවයක් ඇතිවී තිබෙනවා.


විශේෂයෙන්ම අනිකුත් රටවලදී රසවිඳිය නොහැකි මෙලන් (melon 멜론) සහ කොමඩු (watermelon 수박) රසැති කොරියානු අයිස් ක්‍රීම් සඳහා මෙන්ම මසුන්ගේ හැඩය ගත් අයිස් ක්‍රීම් සඳහා වැඩි ඉල්ලුමක් පවතින බව වාර්තා වෙනවා. හැඩය පමණක් නොව ඊටම ආවේණික මෙළෙක් රසයෙන් සමන්විත කොරියානු අයිස් ක්‍රීම් විදේශිකයන්ගේ රස නහර පිනවීමට සමත්වීම හේතුකොටගෙන මේ වසරේදී ඩොලර් මිලියන 47ක (4천7백만 달러) වාර්තාගත අපනයන ආදායමක් ඉපැයීමට සමත්ව තිබෙනවා. එය පසුගිය වසරට සාපේක්ෂව 11.1% ක ඉහළ යාමක් බවත් වාර්තා වෙනවා. විශේෂයෙන්ම උතුරු ඇමරිකානු කළාපයෙහි අපනයන අදායම පසුගිය වසරට සාපේක්ෂව විශාල වශයෙන් (29%) ඉහළ ගොස් තිබෙනවා. රාම්යෝන්ග් අලෙවියද පියාපත් ලැබුණා හා සමානව ඉහළ ගොස් තිබෙනවා. අගෝස්තු මාසය දක්වා රාම්යෝන්ග් අපනයන ආදායම පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 36%කින් ඉහළ යාමක් පෙන්නුම් කරනවා. ඒ අනුව සමස්ත අපනයන ආහාරද්‍රව්‍ය අතර වැඩිම අලෙවියක් පෙන්නුම් කරනුයේ කොරියානු ක්‍ෂණික නූඩ්ල්ස් බවයි වාර්තා වන්නේ. මෙම කළාපයෙහි කොරියානු ජනප්‍රිය සංස්කෘතිය හෙවත් 한류 (Korean Wave) ප්‍රචලිතව පැවතීමද තවත් එක් හේතුවක් බව විශේෂඥ මතයයි. Parasite (기생충, 2019) නම් වූ ඔස්කාර් ජාත්‍යන්තර සම්මාන ලත් ජනප්‍රිය කොරියානු චිත්‍රපටයේ එන Chapaguri (짜파구리) නමැති සන්නාම නූඩ්ල්ස් වර්ගය මේ සඳහා බලපාන්නට ඇති බව Korea Joongang Daily පුවත්පත මීට සති කිහිපයකට පෙර වාර්තා කර තිබුණා.
 


මීට අමතරව කිම්චි (Kimchi 김치) ද ඉහළ අපනයන ආදායමක් උපයන ආහාර ද්‍රව්‍ය අතරට පසුගිය කාලයේදී එක්ව තිබෙනවා. විදේශීය වශයන් පමණක් නොව සමාජ දුරස්ථභාවය සම්බන්ධ සිමාවන් දැඩි වීමට සමගාමීව දේශීය වශයෙන් ද නූඩ්ල්ස් වැනි ක්ෂණික ආහාරවල පාරිභෝජනය සීග්‍ර වශයෙන් ඉහළ ගොස් තිබෙන බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණා. 

මූලාශ්‍ර:

MBC 뉴스데스크 2020.09.04 - https://www.youtube.com/watch?v=2B2SNw1Pibs

Korea Joongang Daily 2020.06.25 - https://koreajoongangdaily.joins.com/2020/06/25/business/industry/kimchi-ramyeon-exports/20200625201100215.html

Image source - Google Images