Dec 6, 2019

Soban (소반) හෙවත් ගෞරව බහුමානයේ මේසය. Soban: Table of Respect

කොරියානුවෝ කුඩා කෑම මේසයක් වටා එකතුවී ආහාර බඳුන් සහ ව්‍යංජන බෙදාහදාගෙන අනුභව කරනු ඔබ දැක ඇත. මේසයක් මෙන්ම බන්දේසියක් වශයෙන්ද ක්‍රියා කරන, පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි මෙම කුඩා කෑම මේසය හඳුන්වනුයේ Soban (소반) යන නමිනි. කොරියානුවන්ගේ බිම වාඩි වී අනුභව කිරීමේ සංස්කෘතියට වඩාත් ගැලපෙන මෙම කෑම මේසය කොරියානු සම්ප්‍රදායික නිවාස ව්‍යුහයේ එන කාමර සහ මුළුතැන්ගෙය අතර පැවති දුරස්ථබවටද ප්‍රායෝගික විසඳුමක් විය. ගෘහණියන්ට මුළුතැන්ගෙයි සිට කෑම කාමරය දක්වා පහසුවෙන් ගෙන යා හැකි වන පරිදි කාන්තාවන්ගේ උරහිසෙහි පළලට ගැළපෙන සේ පටු දිගකින් යුතුව සකස්වූ Soban මේසය ginkgo (은행나무) වැනි සැහැල්ලු දැවයකින් නිර්මාණය විය. චෝසන් යුගයේ (1392-1910) සෑම නිවසකම අත්‍යාවශ්‍යයෙන්ම තිබිය යුතු ගෘහ භාණ්ඩයක් ලෙස Soban සැලකුනි.
ඡායාරූප මූලාශ්‍රය: 국립민속박물관 ඇසුරිනි

කොන්ෆියුශියානු ඉගැන්වීම්වලට අනුව වැඩිමහල්ලන්ට ඉමහත් ලෙස ගෞරව කල යුතු වීමත් ස්ත්‍රීන් සහ පුරුෂයන් අතර පැවති දුරස්ථ භාවයත් හේතුවෙන් පවුලේ සාමාජිකයන් සැමට එකම මේසයක වාඩි වී අනුභව කිරීමට අනුබල නොලැබුණි. එබැවින් තනතුර, වයස සහ ස්ත්‍රී පුරුෂ භාවය වැනි සමාජමය සාධක මත කවරෙකු තවත් කවුරුන් සමග Soban කෑම මේසයට වාඩිවන්නේදැයි තීරණය විය. උදාහරණ වශයෙන් සමාජ තත්ත්වයෙන් උසස් පුද්ගලයන් සහ වයසින් වැඩිමහල් අය එක් මේසයක වාඩි වූ අතර පවුලේ සමීප සාමාජිකයන් සහ මිතුරන් තවත් මේසයක වාඩි වූහ. ඒ අනුව එක් ගෘහයක Soban කිහිපයක් තිබූ අතර වංශවතුන්ගේ නිවෙස් වල එබඳු කුඩා කෑම මේස දුසිම් ගණනක් තිබුණි.

කොරියානු සංස්කෘතික උරුම පරිපාලන ආයතනයේ (Cultural Heritage Administration) Korean Heritage වෙබ් අඩවියේ එන 'Soban හෙවත් අනාගතය සඳහා උචිත සාම්ප්‍රදායික කෑම මේසය, 소반, 문화가 시작되는 무형의 공간' නැමති ලිපිය කියවීමට පහත සබැඳියාවට යොමු වන්න: http://www.koreanheritage.kr/interview/view.jsp?articleNo=90

කොරියාවේ දකුණු චොල්ලා පළාතේ නාජු හි වෙසෙන සම්ප්‍රදායික Soban නිර්මාණ ශිල්පියෙකු වන Kim Chun-sik හා සිදුකල සම්මුඛ සාකච්චාවක් නැරඹීම සඳහා පහත YouTube සබැඳියාවට පිවිසෙන්න: https://www.youtube.com/watch?time_continue=47&v=omh9FmmAKq4&feature=emb_logo

Dec 4, 2019

කොරියානු අධ්‍යයන වැඩමුළුව සහ වාර්ෂික හමුව 2019 - Korean Studies Workshop and the AGM

ශ්‍රී ලංකා-කොරියා තරුණ අධ්‍යාපන ජාලය සහ කොරියානු ජනරජයේ ශිෂ්‍යත්වලාභීන්ගේ සංසදය මගින් සංවිධානය කල කොරියානු අධ්‍යයන වැඩමුළුව සහ වාර්ෂික හමුව පසුගිය නොවැම්බර් 23 වන සෙනසුරාදා ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී උත්සවාකාරයෙන් පැවැත්වුණි.

කොරියානු ජනරජයේ ශිෂ්‍යත්වලාභීන්ගේ සංසදයේ සභාපති ආචාර්ය අරුණ රණවීර මහතා විසින් පිළිගැනීමේ කතාව පැවැත්වූ අතර පශ්චාද් උපාධි අධ්‍යයන සඳහා දකුණු කොරියාවට ගිය ප්‍රථම ශ්‍රී ලංකික ශිෂ්‍යයා වශයෙන් සිය අත්දැකීම් බෙදාහදා ගනිමින් වැඩමුළුවේ මුඛ්‍ය දේශනය පවත්වන ලද්දේ කැලණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය දයා එදිරිසිංහ මහතා විසිනි. ආචාර්ය තරංග රණසිංහ මහතා විසින් 'කොරියානු අධ්‍යයන සඳහා වන තොරතුරු සේවා' පිලිබඳ ඉදිරිපත් කිරීමකින් අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අධ්‍යයන අංශයේ කොරියානු ඒකකයේ සිසුන් විසින් 'කොරියානු අධ්‍යයන' විෂය ක්ෂේත්‍රය අළලා ඉදිරිපත් කිරීම් (presentation) 4 ක් සිදු කල අතර එකී සිසුන් විසින් ඉදිරිපත් කල කොරියානු නර්තනාංගයන්ගෙන් උත්සවය වර්ණවත් විය. උත්සවයේ ස්තූති  කතාව කථිකාචාර්ය අමිලජිත් ලීලාරත්න මහතා විසින් පවත්වන ලදී.

උත්සවයේ ඡායාරූප සඳහා කොරියානු තානාපති කාර්යාලයේ නිල Facebook අඩවියට පිවිසෙන්න: https://www.facebook.com/korembsl/posts/2988817327812290