Nov 22, 2019

කොරියානු අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රීය සඟරා - Academic Journals on Korean Studies - 한국학 관련된 학술지 소개합니다

අද මම ඔබට හඳුන්වා දෙන්නේ කොරියානු අධ්‍යයන විෂයය සම්බන්ධ ගැඹුරු අධ්‍යයන සහ පර්යේෂණයන්හි නිරත වන අයට ප්‍රයෝජනවත් ජාත්‍යන්තර ශාස්ත්‍රීය වාරසඟරා කිහිපයකි. මෙම සඟරාවන්හි කොරියානු අධ්‍යයනයන්ට සම්බන්ධ ශාස්ත්‍රීය ලිපි, පර්යේෂණ ලිපි, විචාර ලිපි යනාදිය පළ වේ.

1. Korea Journal: http://www.ekoreajournal.net/main/index.htm

කොරියානු අධ්‍යයන ඇකඩමිය (AKS) මගින් පළ කරන මෙම සඟරාව 1961 සිට කොරියානු අධ්‍යයන විෂයය සම්බන්ධ සම්මත වාරසඟරාවක් ලෙස සැළකේ.  තවද Thomson Reuters ආයතනයෙහි A&HCI හි අනුක්‍රමණිකාගත ප්‍රථම කොරියානු ප්‍රකාශනය ද වේ. වසරකට කළාප 4 ක් පළවේ. අන්තර්ජාලය හරහා නොමිළයේ කියවිය හැකිය.

2. The Review of Korean Studies: https://review.aks.ac.kr/lab/journal.do?idx=2&tab=1

කොරියානු අධ්‍යයන ඇකඩමිය (AKS) මගින් පළ කරන තවත් ශාස්ත්‍රීය සඟරාවකි. 1998 දී පළමු වරට පළවූ මෙම සඟරාව ESCI, KCI යන සේවාවන්හි අනුක්‍රමණිකාගත වේ. කොරියානු අධ්‍යයන විෂය ක්ෂේත්‍රය සම්බන්ධව ආසියානු සහ බටහිර විද්වතුන්ගේ අදහස්, න්‍යායන් සහ දෘෂ්ටි කෝණයන් සංවාදයට ලක් කිරීම සහ හුවමාරු කරගැනීමේ වේදිකාවක් තැනීම මෙම සඟරාවෙහි අරමුණයි. අර්ධ වාර්ෂිකව පළ වන මෙහි එන ලිපි අන්තර්ජාලය හරහා නොමිළයේ කියවිය හැකිය.

3. The International Journal of Korean Studies (IJKS) : http://icks.org/n/bbs/content.php?co_id=FALL_WINTER_2018

කොරියානු අධ්‍යයන පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය (ICKS) මගින් පළ කරන අර්ධ වාර්ෂික ශාස්ත්‍රීය වාර සඟරාවකි. අන්තර්ජාලය හරහා නොමිළයේ කියවිය හැකිය.

මෙම පෝස්ටුව ඉදිරියේදී තවදුරටත් යාවත්කාලීන වනු ඇත.

Nov 21, 2019

අද වැනි දවසක කොරියාව (නොවැ. 21) Today in Korean History (Nov. 21) 역사 속 오늘 (11월 21일)

1972 නොවැම්බර් 21: ජනපති පක් ජුන්-හ්වී විසින් ඉදිරිපත් කල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයේදී 91.5% කින් සම්මත වීම. යූෂින් යනුවෙන් හඳුන්වන මෙම ව්‍යස්ථාව මගින් ජනපතිවරයාට අසීමිත ඒකාධිපති බලතල පවරන ලද අතර ඒ අනුව 1979 දී ඝාතනයට ලක්වන තුරුම හෙතෙම ජනපති ධූරය හෙබවීය.

1997 නොවැම්බර් 21:ආසියානු මුල්‍ය අර්බුදය හේතුවෙන් දැඩි ලෙස අසීරුතාවයට ලක් වූ දකුණු කොරියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) තම ආර්ථිකය උදෙසා මූල්‍ය සහනයක් ඉල්ලා සිටි අතර ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඩොලර් බිලියන 58 ක සහන පැකේජයක් ලබා දුනි.

2016 නොවැම්බර් 21: ප්‍රධාන විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (Democratic Party) සහ විපක්ෂයේ තවත් සුළු පක්ෂ 2 ක් විසින් ජනපතිනි පක් ග්යුන්-හේ ට විරුද්ධව (ඇයගේ දිගුකාලීන මිත්‍ර චොයි සුන්-ශිල් ට එල්ල වූ දූෂණ චෝදනා කේන්ද්‍ර කරගනිමින්) විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කිරීම. මෙම විශ්වාසභංග යෝජනාව දෙසැ. 9 දින ජාතික මන්ත්‍රණ සභාවේදී (පාර්ලිමේන්තුවේදී) 234-56 ක් වශයෙන් සම්මත වූ අතර ව්‍යස්ථාදායක අධිකරණය විසින් 2017 මාර්තු 10 දින පාර්ලිමේන්තුවේ එම තීරණය සම්මත කරමින් ප්‍රකාශයට පත් කල තීන්දුව අනුව ජනපතිනියට සිය ධූරය වහාම ක්‍රියාත්මක වන පරිදි අහිමි විය.

මූලාශ්‍රය:  https://en.yna.co.kr/history/index

Nov 1, 2019

කොරියාවේ නව දක්ෂිණ ප්‍රතිපත්තිය : එහි දැක්ම සහ එය මුහුණ දෙන අභියෝග (පරිවර්තනයකි)

[මෙම ලිපිය KIEPopinions හි 146 කළාපයෙහි පළවූ Sungil Kwak ගේ Korea's New Southern Policy: Vision and Challenges නැමති ලිපියෙහි (සංක්ෂිප්ත) සිංහල පරිවර්තනයකි. මුල් කතුවරයාගේ පූර්ණ අවසරය යටතේ සිංහලයට පරිවර්තනය කරන ලදී.]

කොරියාවේ නව දක්ෂිණ ප්‍රතිපත්තිය : එහි දැක්ම සහ එය මුහුණ දෙන අභියෝග. 

කර්තෘ: Sungil Kwak (නොවැ. 12, 2018)

නව දක්ෂිණ ප්‍රතිපත්තියෙහි දැක්ම

කොරියානු රජයේ නව දක්ෂිණ ප්‍රතිපත්තියෙහි (신남방정책) අරමුණු වන්නේ දක්ෂිණ කළාපයෙහි ප්‍රධාන කොටස්කරුවන් වන ආසියාන් රටවල් සහ ඉන්දියාව සමග සබඳතා වැඩි දියුණු කරගැනීමත්, එකී සබඳතා කොරියාවේ සාම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික කොටස්කරුවන් හතර දෙනා (ඇ.එ.ජ., චීනය, ජපානය, රුසියාව) ගේ මට්ටමට ගෙන ඒමත්, අන් අය හා සංවේදනය කළ හැකි වටිනාකම් සංවර්ධනය, සහ අන්‍යොන්‍ය වශයෙන් සුඛිත මුදිත "මානව-කේන්ද්‍රීය" ප්‍රජාවක් ගොඩ නැංවීමත් ය. තවද නව දක්ෂිණ ප්‍රතිපත්තිය මගින්, ට්‍රම්ප් පරිපාලනය ආරම්භයත් සමඟම බල ගැන්වුණු, ඇ.එ.ජ. හි ස්වදේශීය කටයුතු සඳහා වන ප්‍රමුඛතාවය ට ගැළපෙන පරිදි මෙන්ම නැගෙනහිර ආසියාව තුළ චීනයේ බලපෑම ව්‍යාප්ත වීමට ගැළපෙන පරිදි  බහු පාර්ශවීය ආර්ථික සහ රාජ්‍ය තාන්ත්‍රික රාමුවක් සැකසීම අරමුණු කෙරේ. කොරියාවේ අන්තර්ජාතික වෙළඳාම බහුලව රඳා පවතිනුයේ ඇ.එ.ජ. සහ චීනය මතය. පසුගිය වසර 3 පුරා (2015-2017) කොරියාවේ සමස්ත අපනයනයන්ගෙන් 38.1% ක් එම රටවල් 2 සමඟ සිදු විය. තවද කොරියාවේ සමස්ත ආනයන සහ අපනයනය වටිනාකම සළකා බලන කළ එයින් 35% ක්ම ඇ.එ.ජ. සහ චීනය සමඟ විය. මෙලෙස සිය ජාත්‍යන්තර වෙළඳ ව්‍යුහය නිශ්චිත රටවල් කිහිපයක් මත පමණක් පදනම් වීම හේතුකොටගෙන එම රටවල් වල විදේශ ප්‍රතිපත්තියේ සහ විදේශ වෙළඳ ප්‍රතිපත්තිවල වෙනස්වීම් වලට අවනත වීමට දකුණු කොරියාවට සිදුව ඇත. නිදසුන් වශයෙන්  2016 දී තාඩ් (THAAD) ප්‍රශ්නය මුල් කරගෙන දකුණු කොරියාව හා චීනය අතර සබඳතා අසීරු අඩියකට පත් වීමත්, ට්‍රම්ප් පරිපාලනය ආරම්භයත් සමඟම බල ගැන්වුණු, ඇ.එ.ජ. හි ප්‍රබල ජාතිකවාදී ප්‍රවණතා හේතුවෙන් එරටට සිදු කරන අපනයන කෙරෙහි අසීරු බලපෑම් එල්ල වීමත් සඳහන් කළ හැක. එබැවින් කොරියාවට සිය විදෙස් ආර්ථික ප්‍රතිපත්තිය තම රටෙහි ලාභාංශ විශ්වසනීයව වැඩි කරගැනීමට හැකි වන පරිදි සකසා ගැනීමට අවශ්‍ය නම්  පළමුව කළ යුතු වනුයේ මෙතෙක් නිශ්චිත රටවල් කිහිපයක් මත පමණක් කේන්ද්‍රීය වූ තම වෙළඳ ව්‍යුහය විවිධාංගීකරණයත් එමගින් බාහිර තර්ජන අවම කර ගැනීමත්ය. නව දක්ෂිණ ප්‍රතිපත්තිය මගින් අරමුණු කෙරෙනුයේ හුදෙක් ඇ.එ.ජ. සහ චීනය වෙනුවට නව දක්ෂිණ කළාපය සමඟ සම්බන්ධතා පැවැත්වීම නොව ඇ.එ.ජ. සහ චීනය සමඟ සම්බන්ධතා පවත්වා ගන්නා අතරතුර සිය ආර්ථික සහයෝගීතාවයේ නිම්වළලු පුළුල් කර ගැනීමයි. එබැවින් නව දක්ෂිණ ප්‍රතිපත්තියේ දැක්ම සංක්ෂිප්තව ඉදිරිපත් කරන්නේ නම් මෙසේය. දකුණු කොරියාව සිය ජාතික ප්‍රායෝගික රුචිකත්වයන්ට ප්‍රමුඛත්වය දෙමින් වඩාත් සමබර රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙතක් මත පදනම් වූ උපායමාර්ගික විදේශ ප්‍රතිපත්තියක් තම ප්‍රධාන සාම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික කොටස්කරුවන් සිව්දෙනා (ඇ.එ.ජ., චීනය, ජපානය, රුසියාව) සහ නව දක්ෂිණ කළාපයන් සමඟ පවත්වාගෙන යාමයි.